Monday, March 19, 2012

ශුක්‍ර පැටවාගේ චාරිකාව...

මා ඇස් අරින විට සිටියේ

ඝන තරලයකින් පිරි

සුවිසල් අඳුරු නළයක් තුළ

වේගයෙන් ඉදිරියට වීසිවෙමෙනි.

කිසිවක් වටාහා ගත නොහී

බියෙන් භ්‍රාන්තව වී සිටි මා

වට පිට බැලූ කල්හි

මා හා සමාන හැඩරුවෙන් හෙබි

සුවිසාල පිරිසක්

මේ නළය තුළ

එකිනෙකා පරයමින්

ඉදිරියට ඇදෙන අයුරු

පෙනෙන්නට විය.

උන් පවසන පරිදි

ස්වර්ගය පවතින්නේ

මේ සුවිසල් අඳුරු නළය කෙළවරේය

ස්වර්ගය!


බොහෝ කලක්

මේ සුවිසල් අඳුරු නළය තුළ

ඉදිරියට ඇදෙමින් වුන් අපිට

තවමත් ස්වර්ගය හමු නොවීය.

සමහර උන්

දැනටමත් මේ ගමන

නවතා දමා හමාරය.

දුර්වල උන්

අතරමගදි හැලුණි.

මෙහි අවසානයක් ඇත්ද?

ස්වර්ගයට තව දුරයිද?

තව කොපමණ කල් අප මෙලෙස ගමනේ යෙදෙමුද?

මේවා සියල්ලන්ගේම සිත් තුළ

නලියන ගැටළු විය.

එකෙණෙහිම වාගේ එය

අප ඉදිරියේ දිස් වන්නට විය...

ස්වර්ගය...පුදුමාකාරයි!

මෙලෙක් පෘෂ්ඨයකින් හෙබි

සුවිසාල ගෝලාකාර

ආකර්ෂණීය වස්තුවක්.

මට විස්තර කරගත නොහැකි තරමේ

අලංකාරයක්.

අනෙක් සියල්ලන්ටම ප්‍රථමව

මම මෙයට ළඟා විය යුතුය.

මම ඉටා ගතිමි.


කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යයි.

පෙර සිදු වූ ව්‍යසනය

සිහි ගන්වන වාරයක් වාරයක් පාසාම

ඇඟ කිළිපොලා යයි.

මා පරයා ස්වර්ගය කරා

ළඟා වූවන්ගේ දැන් ශේෂ වී ඇත්තේ

මතකයන් සහ ශරීර කැබැලි පමණෙකි.

විලාපයන් දුක් දොම්නස් දසතින්.

සමහරෙක් නලයේ කිසියම් ද්වාරයක් සොයා

ඔබ මොබ සැරිසරයි.

තවත් සමහරෙක් හුස් ලූ ලූ අත දුව පැන

කෙළිකවට කමේ යෙදෙමින්

මහත් වින්දනයක් ආශ්වාදයක් ලබයි.

කුමක්ද මේ සියල්ලේ අර්ථය..?

මා මෙහි කුමක් කරන්නේද..?

මා නොදනී.

අප ස්වර්ගයැයි පවසන

ඉතාමත් දෘඩ පෘෂ්ඨයක් සතු

ගෝලාකාර වස්තුව

මහත් ගුප්තය.

මට කුතුහලයක් ගෙනදෙයි.

මෙතුල කුමක් වෙයිද..?

හුදු රික්තකයක්මද...?

නැතිනම් නව නැවුම් ලොවකට පිවිසුම් දොරටුවක්ද...?

දුටුවන් පවසන් පරිදි

අපෙන් එකෙක් ස්වර්ගයට

ඇතුලු වීමට සමත්ව ඇත.

අප අතරින් සමහරෙක්

ඔහුට වන්දනාමාන කිරීමටත්

"දෙවියන්වහන්සේ" යැයි

නමකින් ආමන්ත්‍රණය කිරීමටත්

අරඹයා ඇත.

දෙවියන්වහන්සේ අපිට

ස්වර්ගයේ දොරටු විවෘත කරන තෙක්

අපි සැවොම මේ අඳුරු නලය තුළ

දෑස් දල්වා බලා සිටිමු.

Friday, March 16, 2012

දෙමළා...

ඇය සිටියෙ බසයේ කෙළවර
දිරා ගිය සළුවකින් සැරසී
තිලකයක් හිස දරා
බුලත් පැහයෙන් දෙතොල් රතුවෙන්
කඩමල්ලක් අතින් ගෙන

දැනට වසර දෙකකට එකහමාරකට පෙර
මම ඔබව මේ බසයේ හෝ
වෙනත් බසයක දුටුවා නම්
මම කෙතරම් බිය වනවාද

ඔබටත් දරුවන් සිටිනව ඇති
ඔබටත් දෙවියන් සිටිනවා ඇති
ඔබටත් සිහිනයන් පෙනෙනවා ඇති
ඔබටත් වේදනාව දැනෙනවා ඇති
නමුත් හිසට වහලක් නැතුව ඇති
යැයි මම සිතනව ඇති

ඒත් දැන් මම ඔබට බිය නොවෙමි
මොකද දැන් යුද්ධය අවසානයි
ඔබ තව දුරටත් මට තර්ජනයක් නොවෙයි